කායික මානසික සහ සමාජීය යහපැවැත්ම ගැනයි ප්‍රජනන සෞඛ්යයෙදි කතා
කරන්නෙ. දන්නවද? ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්.
කායික මානසික සහ සමාජීය යහපැවැත්ම ගැනයි ප්‍රජනන සෞඛ්යයෙදි කතා
කරන්නෙ. දන්නවද? ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්.
01 | ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍යය හැඳින්වීම
ජීවිතයේ සෑම අදියරකදීම ප්‍රජනක පද්ධතිය, ක්‍රියාවලි සහ කාර්යයන් වැදගත් වෙනවා. ඒ නිසාම ප්‍රජනක සෞඛ්‍ය කියන්නේ මිනිසුන්ට වගකිව යුතු, තෘප්තිමත් සහ ආරක්ෂිත ලිංගික ජීවිතයක් ගත කරන්න පුළුවන් බවත්, දරුවන් ලැබීමේ හැකියාව වගේම ලැබිය යුත්තේ කවදාද, කොපමණ ගණනක්ද යන්න තීරණය කිරීමේ නිදහසත් ඔවුන් සතු බවයි.
කඩිනමින් වෙනස් වන සුළු වර්තමාන ලෝකයේ තරුණ ප්‍රජාව විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. මේ ගැටලුවලින් බහුතරයක් වර්ධනය සහ සබඳකම් කළමනාකරණය සමඟ සෘජුව සම්බන්ධ වෙනවා. සමීක්ෂණ වාර්තාවලට අනුව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම ඇති තරුණ ප්‍රජාව පළමු ලිංගික ඇසුර පමා කරන බව හෙළිව තිබෙනවා. එමෙන්ම ඔවුන් ලිංගික ඇසුරකදී ද්විත්ව ආරක්ෂාව සඳහා කොන්ඩම් භාවිත කරන බවත් පෙනී යනවා.
ශ්‍රී ලංකාවේ තරුණ, තරුණියන් මිලියන 6.5ක් පමණ සිටිනවා. ඉන් නව යොවුන් වියේ ළමුන් මිලියන 3.8ක් පමණ වනවා. එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ ප්‍රමාණයක්. නව යොවුන් වියේ දරුවන්ගෙන් 70%ක් පමණ පාසල් යනවා. එනම් ඔවුන් නිරන්තරයෙන් සමාජය සමඟ මුහු වෙනවා. මේ දරුවන් හට නිසි ලිංගික අධ්‍යාපනයක් සපයා තිබීම ඉතාම වැදගත්. සමාජයෙන් සහ යහළු මිත්‍රයන් ආශ්රයෙන් ලබා ගන්නා අර්ධ දැනුම, මිථ්‍යා මත ආදියට වඩා නිවැරැදි දැනුම නිසියාකාරයෙන් ලබා දීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එවිට ඔවුන්ට අභියෝගයක්ව ඇති ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ගැටලි නිසි පරිදි ලිහිල් වී යන බවට සැකයක් නැත.
එය හුදෙක්ම රෝග, අක්‍රියතාව හෝ දුර්වලතා නැති වීම පමණක් නෙවෙයි. බලහත්කාරයෙන්, වෙනස් කොට සැලකීමෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රීතිමත් හා ආරක්ෂිත ලිංගික අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවයි.
ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ තරුණ ප්‍රජාව දැනුවත් විය යුතුයි. මන්දයත් ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවෙන් 80%ක් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන හඳුනා ගැනීමට අපොහොසත් බැවින්ය. මෙය බරපතළ ගැටලුවක් ලෙස හඳුන්වා දිය හැකියි. අධ්‍යාපනය ලබා දිය යුතු බවයි.
02 | වැඩිවිය පැමිණීම
ගැහැනු ළමුන්ගේ කායික වෙනස්කම් අතර පිරිමි ළමුන්ට පෙර ප්‍රමාණයෙන් උස යෑම, සිරුර වැඩෙන්නට පටන් ගැනීම ප්‍රධානයි. පියයුරු ලොකුමහත් වීම මෙන්ම ඉඟ ප්‍රදේශය පුළුල් වන්නට පටන් ගනියි. සමේ රතු බිබිලි (කුරුලෑ) මතු වෙයි. ලිංගේන්ද්‍රිය අවට සහ කිහිලිවල රෝම වර්ධනය වන්නට පටන් ගනියි. ඔසප් වීම ඇරඹෙයි.
03 | යොවුන් විය
මේ සියල්ල මඟින්ම ඔවුන්ගේ අනන්‍යතාව ගොඩනංවා ගන්නත්, තමන්ගේ ශරීරය පිළිබඳ උනන්දු වෙන්නත් උත්සාහ දරනවා.
යොවුන් වියට එළැඹීමත් සමඟම හැඟීම් පාලනය කරන හෝමෝන ඔබේ හැඟීම් සහ චිත්තවේගවලට බලපෑම් ඇති කරයි. ලිංගිකත්වය ගැන සිතන්නත්, ලිංගික හැඟීම් දැනීමට සහ එකිනෙකා කෙරෙහි ආකර්ශනය වීමට පටන් ගනියි. යම් වියවුල්කාරී හැඟීම් සමුදායක් සමඟ මානසික සටනක් කිරීමට සිදුවන බවක් හැඟී යයි. ඒ හැඟීම් සියල්ලම අතිශය සාමාන්‍ය සහ ස්වභාවික බව මතක තබා ගත යුතුයි.
මේ කාලයේ දැඩි ලෙස ආවේගකාරී හැසිරීමක්ද ප්‍රකට කරන බවත් පෙනී යයි. මේ ආවේගශීලී බව වඩාත් සරලව විස්තර කරන්නේ නම් 'මුලින් වැඩ කර පසුව සිතීම' ලෙස කිව හැකියි.
04 | ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය
ස්ත්රීන්ගේ අභ්‍යන්තර ප්‍රජනක අවයව ශ්‍රෝණිය යනුවෙන් හැඳින්වෙයි. ශ්‍රෝණිය උදරයේ පහළ කොටස තුළ පිහිටා ඇති අතර, ඒවා අස්ථි සහ මාංශ පේෂීවලින් ආරක්ෂා වී තිබෙනවා. ඒවා යෝනි මාර්ගය, ගර්භාෂය, ඩිම්බ කෝෂ දෙක සහ පැලෝපීය නාල දෙකෙන් සමන්විතයි. විවරයේදී කන්‍යා පටලය නමින් හැඳින්වෙන පටලයකින් ආවරණය වී ඇති යෝනි මාර්ගය ප්‍රජනක අවයව ප්‍රදේශයේ පිහිටි විවර තුනෙන් විශාලම විවරය ද වනවා. යෝනි බිත්තියේ ඇතුළු පැත්තෙන් තුනී ශ්රාවයක් නිපදවෙන අතර, එමඟින් ලිංගික සංසර්ගය අතරතුරදී යෝනි මාර්ගය තෙත් කරනු ලබයි.
යෝනි මාර්ගයේ බිත්ති ඇදෙන සුළු අතර, බිළිඳාගේ හිස සහ ශරීරය යෝනි මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ සැලසීම පිණිස එම බිත්තිවලට විහිදීමේ හැකියාව ඇත.
පැලෝපීය නාල තුළද කලලයක් හට ගත හැකිය. ගැබ් ගෙල යනු ගර්භාෂයේ ගෙලයි. එසේත් නැත්නම් ගර්භාෂයේ ඇති විවරයයි. ගර්භාෂයේ පහළ කෙළවර යෝනි මාර්ගයේ ඉහළ කෙළවරට සම්බන්ධ වෙයි. එසේම යෝනි මාර්ගය යනු ශරීරයේ භාහිර සිට ගර්භාෂයේ මුඛය දක්වා ඇති මාර්ගයයි. ලිංගික සංසර්ගයේදී පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුළු කරනු ලබයි. දරු ප්‍රසූතියේදී බිළිඳා එළියට එන්නේද මේ මාර්ගය හරහායි. භගය යනු ස්ත්‍රී ලිංගේන්ද්රියෙහි බාහිර කොටසකි. භගමණිය පිහිටා ඇත්තේ යෝනියට ඉහළින්ය. එය ඇත්තේ සතුට හෝ උද්දීපනය ලබා ගැනීමටයි.
යෝනි ස්රාවය ලෙස හඳුන්වන්නේ යෝනිය තෙත් කිරීමට යෝනියෙහි පිහිටි ග්රන්ථ මඟින් නිපදවන ස්‍රාවයකි. ගරිය අධරය යනු කනීය අධරය සහ අභ්‍යන්තර ව්‍යුහයන් ආරක්ෂා කරන, කෙස්වලින් වැසුණු භගයෙහි භාහිර තොල්ය. කනීය අධරය යනු යෝනි විවරය ආවරණය කෙරෙන සහ ආරක්ෂා කෙරෙන අභ්‍යන්තර දෙතොලයි.
ශ්‍රෝණිය යනු අභ්‍යන්තර ප්‍රජනක අවයව අඩංගු වන සහ ආරක්ෂා කරන අස්ථිය. ඩිම්බ සහ ප්‍රධාන හෝමෝන දෙකක් වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් නිපදවන්නේ ඩිම්බකෝෂයෙනි.
මුත්‍රා මාර්ගය යනු ශරීරයෙන් බැහැරට මුත්‍රා නිකුත් කිරීමට ඇති පටු නාලයයි. කන්‍යා පටලය යනු යෝනි විවරය වටා පිහිටා ඇති තුනී පටලයයි.
ඒ වගේම කාන්තාවන් 60%ක වගේ ප්‍රතිශතයකට පළමු ලිංගික එක්වීමේදී කන්‍යා පටලය ඉරී රුධිරය පිට විය හැකියි. නමුත් 40%ක වගේ ප්‍රතිශතයකට එවැන්නක් සිදුවන්නේ නැහැ. ඒ වගේම පළමු ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීමෙන් කන්‍යාභාවය පිළිබඳ තීරණයකට එන්නත් බැහැ.
සංසර්ගයේදී කන්‍යා පටලය ඉරී ගිය පසු කන්‍යා පටලය යළි නිර්මාණය කළ හැකි සැත්කම් තිබෙනවා. නමුත් එවැනි සැත්කම්වලින් පවා පළමු සංසර්ගයේදී රුධිරය පිටවීම මඟින් කන්‍යාභාවය තහවුරු වන්නේය යන මිථ්‍යාව ප්‍රවර්ධනය කරනවා. එබැවින් එවැනි සැත්කම්වල බරපතළ ආචාරධර්මීය ගැටලු තිබෙනවා.
බොහෝ විට සමාජය විසින් කාන්තාවන්ගේ කන්‍යාභාවය අගය කිරීමටත් පුරුෂයන් සම්බන්ධයෙන් එහි ප්‍රතිවිරුද්ධ මතයත් දරනවා. මේ දෙබිඩි පිළිවෙත නිසා සමාජීය වශයෙන් අපකීර්තිය කාන්තාව වෙතට පමණක් යොමු වෙනවා. කෙසේ නමුත් කන්‍යාභාවය සමාජය විසින් නිර්මාණය කළ සංකල්පයක් බවයි සමාජ විද්‍යාඥයන් පවසන්නේ.
වැඩිවිය පත් වූ පසු සාර්ථක එක්වීමක් බලාපොරොත්තුවෙන් ඩිම්බකෝෂ සෑම දවස් 28කටම වරක් සජීවී බීජයක් පිට කරනවා. ගර්භාෂයේ යුක්තානුවක් පිළිගැනීමේ සූදානමින් කලලයක වර්ධනයට සුදුසු පරිසරයක් ද එතුළ නිර්මාණය කරනවා. නමුත් ඒ සෑම ඩිම්බයක්ම ශ්‍රක්‍රාණුවක් සමඟ එක්ව යුක්තානුවක් වී දරුවකු තනන්න වරම් ලබන්නේ නැහැ. අවසානයේ ඒ බලාපොරොත්තු බිඳ වැටුණු ඩිම්බය සිරුරෙන් පිට වන්නේ ඒ සඳහා සූදානම් වූ ගර්භාෂ බිත්ති සියල්ල බිඳ වට්ටමිනුයි. ඒ සියල්ල රුධිරය සමඟ යෝනි මාර්ගයෙන් පිටවෙමින් අපහසු දවස් කිහිපයක් උදා කරනවා. මෙය ඔසප් වීම ලෙසත් මේ චක්‍රීය ක්‍රියාවලිය ඔසප් චක්‍රය වශයෙනුත් හඳුන්වනවා.
ඔසප් වීමේදී ගර්භාෂය සංකෝචනය වීම නිසා මස්පිඬු පෙරළීම, කොන්දේ වේදනාව, පියයුරුවල වේදනාව, යටි බඩේ වේදනාව වැනි අපහසුතාවන්ට ලක් වෙනවා. මස්පිඬු පෙරළීමේ තීව්‍රතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
ඔසප් සමයේ භාවිතයට ගන්නා සනීපාරක්ෂක ක්‍රම මොනවාදැයි තීරණය කිරීම ඔබ සතුයි. තමන්ට වඩාත් පහසු, ආර්ථික තත්ත්වයට ගැලපෙන ක්‍රමයක් තෝරාගත හැකියි. ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන්නේ සනීපාරක්ෂක තුවා සහ පිරිසුදු රෙදි ආදියයි. සනීපාරක්ෂක තුවා වෙනුවෙන් අමතර වියදමක් දැරීමට නොහැකි ග්‍රාමීය බහුතරය ඉහත සඳහන් කළ ආකාරයට පිරිසුදු රෙදි සහ මිලෙන් අඩු දේශීය සනීපාරක්ෂක තුවා ආදිය බහුලව පාවිච්චියට ගන්නවා.
අනෙකුත් සෑම දිනයක් සේම ඔසප් දිනවලත් පිරිසුදුව සිටීම වැදගත් බව කිව යුතුයි. නිසි පරිදි සනීපාරක්ෂක තුවා පැය හතරකට වරක්වත් මාරු කිරීම, ටැම්පෝන් මාරු කිරීම, ඔසප් කෝප්ප පිරිසුදු කිරීම ඉතා වැදගත්.
ඔසප් වීම සාමාන්‍ය සහ ස්වභාවික සිදුවීමක් නිසා එම කාලයේදී ඔබගේ දෛනික වැඩ කටයුතු කිසිවක් අතපසු කළ යුතු නැහැ. ව්‍යායාමවල යෙදෙන්න පුළුවන්. රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු වගේම යහළුවන් මුණ ගැසීම වැනි ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින අයට දැඩි ශරීර අපහසුතාවක් නැතිනම් අනෙක් දිනවලදී මෙන් එම කටයුතුවල නිරත වෙන්නත් හැකියි.
මේ ගැටලු සාමාන්‍ය දේවල් යැයි කියා බැහැර කීරිම ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර වන්නේ නැහැ. එමෙන්ම සමාජයේ පවතින මිථ්‍යා මත පෝෂණය කිරීමත් නොකළ යුතුයි.
පැය හතරකට වරක්වත් සනීපාරක්ෂක තුවා ආදිය මාරු කිරීම සෞඛ්‍යයට හිතකරයි. නමුත් පාසල් දරුවන්ට එවැනි පහසුකම් නැති නිසා උදෑසන පාසල් ගිය පසුවත්, සවස පන්ති ගොස් නිවෙසට පැමිණෙන තෙක්ම එකම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා දැක ගත හැකියි. මෙවැනි තත්ත්වය හැකිතරම් වළක්වා ගැනීම ඔසප් ස්වස්ථතාවට වැදගත්.
ඔසප් දිනවල ස්නානය සුදුසු නැතැයි සමාජයේ දුර්මතයක් පවතිනවා. ඊට කිසිදු විද්‍යාත්මක පදනමක් ඇත්තේ නැත. එවැනි දුර්මත පෝෂණය කිරීමෙන් වැළැකී සිටීමටත්, සත්‍ය කුමක්දැයි දැනුවත් වීමත් වඩා වැදගත්ය.
වේදනාකාරී ඔසප්වීම් ගැන කියන විට එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ ද කිව යුතුයි. එන්ඩොමෙට්‍රියෝසිස් යනු දැඩි වේදනාවක් සහ කරදරකාරී කාල පරිච්ඡේදයක් ඇති කළ හැකි තත්ත්වයකි. එය සිදු වන්නේ ගර්භාෂයේ පිටත පටලය ගර්භාෂයෙන් පිටත වැඩෙන විටයි. මෙය ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහ ශ්‍රෝණි බිත්තියට බලපෑම් කළ හැකියි. කලාතුරකින් එය අවට බඩවැල් හෝ මුත්රාශයට බාධා ඇති කළ හැකියි.
පිරිසුදු සනීපාරක්ෂක තුවා භාවිත කරන්න. සනීපාරක්ෂක තුවා සහ පැරසිටමෝල් හෝ ඇස්ප්‍රීන් වැනි සරල වේදනා නාශක ළඟ තබාගන්න. ඕනෑ තරම් ජලය බොන්න. විවේකයෙන් සිටින්න. හොඳ ආහාර වේලක් ගන්න. ඔබේ වැඩ දිගටම කරගෙන යන්න.
ඔසප් කාලය තුළ මස්, මාංශ (පිළී) ආහාරයෙන් වැළැකී සිටිය යුතු යැයි සමාජයේ තවත් දුර්මතයක් පවතිනවා. එහි කිසිඳු සත්‍යතාවක් නැත. මෙය වර්ධන අවධියක් වන නිසා ප්‍රෝටීන් බහුල ආහාර ගැනීම අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම මස්, මාළු, කිරි, බිත්තර ආදී ප්‍රෝටීන් බහුල ආහාරයට එකතු කර ගැනීම වැදගත්.
ඔසප් වීම ඉතා වේදනාකාරී වුවහොත් හෝ වෙනයම් අසාමාන්‍යතාවක් සිදුවුවහොත් වෛද්‍ය සහය පතන්න.
05 | පුරුෂ ප්‍රජනක පද්ධතිය
කියන්නේ මොකක්ද?
පුරුෂ ප්‍රජනක අවයව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සරලව කිවහොත් ශිෂ්ණය යනු යෝනි මාර්ගය තුළට ශුක්‍රාණු යැවීම සඳහා මෙන්ම මුත්‍රා පිට කිරීම සඳහා භාවිත කරන පුරුෂ ලිංගික අවයවයයි. චර්මාග්‍රය යනු ශිෂ්ණයෙහි හිස ආරක්ෂා කෙරෙන ශිෂ්ණයෙහි ඉදිරි සමයි. මුත්‍රවාහිනිය යනු ශිෂ්ණය ඇතුළත පිහිටි ශුක්‍රාණු සහ මුත්‍රා යන දෙවර්ගයම ගමන් කරන දිගු, පටු නාලයයි. වෘෂණ යනු ශුක්‍රාණු සහ පුරුෂ හෝමෝන නිපදවනු ලබන ලිංගික ග්‍රන්ථි දෙකයි. ඒවාට පුරුෂයන් තුළ ද්විතියික ලිංගික ලක්ෂණ වැඩීමේ කාර්යය පැවැරිලා තිබෙනවා.
ශුක්‍ර ආශයිකාව යනු සුදු පැහැති තරලයක් වන ශුක්‍ර ධාතු නිපදවනු ලබන සහ ශුක්‍රාණු ගබඩා කර තබන ගොටුවක්, එසේත් නැත්නම් ග්‍රන්ථියක් වැනි අවයවයක්. යෝනිය තුළ ශුක්‍රාණු සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වන ශ්‍රාව නිෂ්පාදනය කරන්නේ පුරස්ථ ග්‍රන්ථියයි. ශුක්‍ර නලය යනු වෘෂණවල සිට ශිෂ්ණය වෙත පුරුෂයන්ගේ ශුක්‍රාණු රැගෙන යන නාලයයි. වෘෂණ කෝෂය වෘෂන දරා සිටිමින් අධික උෂ්ණත්වයෙන් වෘෂණ ආරක්ෂා කරන මල්ලක් වැනි අවයවයකි. අපිවෘෂය යනු වෘෂණවල සිට ශුක්‍රාණු මේරීම සිදු වන ශුක්‍ර නාලය දක්වා දිවෙන දඟර ගැසුණු නාලයකි. කුපර් ග්‍රන්ථිය යනු ශිෂ්ණ මුත්‍ර මාර්ගය තුළ ශුක්‍රාණු සඳහා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වන ශ්රාවයක් නිෂ්පාදනය කරන්නයි.
06 | ස්ත්‍රී / පුරුෂභාවය
ස්ත්‍රී/පුරුෂ සමාජභාවය තීරණය කිරීම සඳහා ආර්ථික තත්ත්වය, සංස්කෘතිය, ආගම හා දේශපාලනය යන සාධක හේතු වනවා. මවුපියන් අනුකරණයෙන් හා කුඩා කල සිට මවුපියන් අන්දවන ඇඳුම් හා ලබා දෙන සෙල්ලම් බඩු යනාදියෙන් තමන් ගැහැනු අයකු හෝ පිරිමි අයකු ලෙස අනන්‍යතාවක් අප තුළ ඇතිවී ස්ත්‍රී/පුරුෂ සමාජභාවයට අපි අනුගත වනවා.
වැඩීමත් සමඟ දරුවා හදාවඩා ගන්නා පරිසරය අනුව දෙආකාරයක හැසිරීම් රටා හා වගකීම් ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයට පැවරීමේ සංස්කෘතියක් සමාජය විසින් ගොඩනඟාගෙන තිබෙනවා. සරල උදාහරණයකින් එය පැහැදිලි කළොත් ගැහැනු හා පිරිමි ලෙස ඇඳුම් මෝස්තර දෙවිදියක් සහ ගැහැනු සහ පිරිමි සෙල්ලම් බඩු ලෙස බෙදීමක්ද සමාජයේ දක්නට ලැබෙනවා. වර්ණ භාවිතයෙන්ද ස්ත්‍රී/පුරුෂ බව වෙන්කර දැක්වීම දැකිය හැකියි. ඊට සරලම උදාහරණය බිළිඳු ඇඳුම් සැකසීමේදී ගැහැනු ළමයින්ට රෝස පැහැයත්, පිරිමි ළමයින්ට නිල් පැහැයත් වශයෙන් තෝරා ගැනීමයි. මේ වර්ණ මත පදනම්ව ස්ත්‍රී/පුරුෂ බව දැක්වීම කුඩා කළ සිට මහලු කාලය වන තෙක්ම පැවැතිය හැකියි.
අතීතයේ සිට සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික සමාජයේ නිවෙසේ ඉවුම් පිහුම් කටයුතු හා දරුවන් රැකබලා ගැනීමේ කටයුතු කාන්තාවන් විසින් ඉටු කරනු ලබයි. රැකියාවක නිරත වන පුරුෂයා මුදල් ඉපැයීමේ, පවුලට ආරක්ෂාව, රැකවරණය සැපයීමේ කටයුතුවල වගකීම දරයි. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමඟ බොහෝ නිවෙස්වල මව සහ පියා යන දෙදෙනාම රැකියාවල නිරත වෙයි. එබැවින් ඉහත වෙනස්කම් දැන් ඉරක් ගසා වෙන් කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇත. කාලය හා පහසුව අනුව වෙනසක් නැතිව වගකීම් බෙදාගෙන මව සහ පියා කටයුතු කරන නිවෙස් බොහෝය.
වැඩිවියට පත්වීම පාලනය කරන හෝමෝන හැඟීම් සහ චිත්තවේගවලටද බලපෑම් ඇති කරන නිසා ලිංගිකත්වය පිළිබඳ සිතීමට, ලිංගික හැඟීම් ඇති වීමට මෙන්ම ගැහැනු ළමුන්, පිරිමි ළමුන් හෝ දෙපාර්ශ්වයටම ආකර්ශනය වීමට පටන් ගන්නවා. එය ස්වභාවික සහ අතිශය සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි. විශේෂයෙන්ම ලිංගික හැඟීම් ඇතිවීම යනු ලිංගික ක්රියාවේ යෙදීම නොවෙයි. ලිංගික හැඟීම් ඇති වූ පමණින් ඒ සියල්ල ක්රියාවේ නැංවිය යුතුත් නැහැ. එම නිසා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව සිතීම සාමාන්‍ය දෙයක් වන අතර, ඒ පිළිබඳව ලැජ්ජා වීමට හෝ පසුගාමී වීම අවශ්‍ය නොවේ.
ලිංගිකව හැසිරීමට ඇති කැමැත්තට ලිංගික ආශාව කියලා සරලව කියන්න පුළුවන්. ලිංගික හැඟීම්වලට වගේම ලිංගික ආශාවටත් ස්ත්‍රී/පුරුෂභාවයක් හෝ වයස් භේදයක් ඇත්තේ නැහැ.
සමීප සබඳතාවක් තුළ එක් පුද්ගලයකුට වෙනත් අවස්ථාවලට වඩා ලිංගික ආශාවක් ඇති විය හැකියි. එසේම සෑම පුද්ගලයාටම ලිංගික ආශාව දැනෙන බවත් මතක තබා ගත යුතුයි. එය අතිශය සාමාන්‍ය සහ ස්වභාවිකයි. මේ ලිංගික ආශාව සමරිසි, විෂමරිසි හෝ ද්විරිසි පාර්ශ්ව කෙරෙහි ආශාවක් ඇති විය හැකියි. නමුත් ලිංගික ආශාව සහ ආදරය එකක් නොවේ. ආදරයක් ඇතිව හෝ නැතිව පුද්ගලයකුට ලිංගික ආශාව ඇති විය හැකියි.
07 | ස්වයං වින්දනය
කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ඔවුන්ගේ භගමනිය, යෝනිය හෝ ලිංගික උත්තේජනයට සංවේදී අනෙකුත් ශරීර කොටස් වන පියයුරු සහ තනපුඩු උත්තේජනය කිරීමෙනුයි. පිරිමින් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ඔවුන්ගේ ශිෂ්ණය උත්තේජනය කිරීමෙනුයි.
ස්වයං වින්දනය යනු මිනිසුන් තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමේ එක්තරා ආකාරයක් ලෙස හඳුන්වා දිය හැකියි. බොහොමයක් දෙනා සිය ජීවිත කාලය පුරාවටම ස්වයං වින්දනය හරහා සතුට වෙයි. ඔවුන්ට ලිංගික සහකරුවකු, සහකාරියක සිටින අවස්ථා හෝ විවාහකව සිටින අවස්ථා මීට ඇතුළත් වෙනවා.
එසේම ස්වයං වින්දනය කියන්නේ අතිශය පෞද්ගලික ක්‍රියාවක් නිසා පොදු ස්ථානවල ස්වයං වින්දනයේ යෙදීමෙන් වැළකී සිටිය යුතුයි. එමෙන්ම එදිනෙදා කටයුතුවලට බාධා වන මට්ටමෙන් ස්වයං වින්දනයට නැඹුරු වී ඇති බවක් දැනෙයි නම් මනෝ වෛද්‍යවරයකු හමුව අවශ්‍ය උපදෙස් ලබාගත හැකියි.
සුරාන්තයට පත් වන විට, දැඩි තෘප්තියක් දනවන හැඟීමක් සමඟ, මාංශපේෂී නොදැනුවත්වම සංකෝචනයටත්, ලිහිල් වීමටත්, තරල ශ්‍රාවය වීම සිදු වනවා. පිරිමින්ගේ නම් ශුක්‍රාණු විසර්ජනයත්, කාන්තාවන්ගේ ලිංගික අවයව තෙත්වීමත් සිදු වනවා.
ලිංගික එකතු වීමකදී දෙපාර්ශ්වයම සුරාන්තයට පත්වීම වඩාත් වැදගත් කාරණාවක් ලෙස දැක්විය හැකියි. එක් පාර්ශ්වයකට හෝ පාර්ශ්ව දෙකටම තමන් බලාපොරොත්තු වන තෘප්තිය නොලැබී යෑම හේතුවෙන් ඔවුන් ලිංගිකව එක්වීමට දක්වන උනන්දුව හීන වී යෑමට හැකියි. මේ හේතුවෙන් අඹු-සැමියන් සහ පෙම්වතුන් අතර අඩදබර ඇති විය හැකි අවස්ථා බහුලයි. එකිනෙකා සමඟ තමන්ගේ ආශාවන් මෙන්ම කැමැත්ත පිළිබඳ සාකච්ඡා කළ හැකි නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වනවා. බොහෝ විට සන්නිවේදනයේ දුර්වලතා හේතුවෙන් ඉතා සුළු ගැටලු පවා විශාල විය හැකියි.
පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට සුරාන්තයට ළඟා විය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. ඇතැම් විට එම ආකාරවලින් එකක් හෝ කිහිපයක් ලෙසත් සුරාන්තයට පත් විය හැකියි. එය කාන්තාවකගෙන් තවත් අයකුට වෙනස් විය හැකියි.
භගමණිය උත්තේජනය කිරීම ප්‍රකටම ක්‍රමයයි. එවිට සිදු වන්නේ එක දිශාවක් ඔස්සේ හෝ විවිධාකාරව භගමණිය උත්තේජනය කිරීමයි. එසේම යෝනිය ඔස්සේ සුරාන්තයට පත්වීම අනෙක් ක්‍රමයයි. මෙමඟින් වඩාත් තීව්ර සහ ගැඹුරු ආස්වාදයක් ලබා ගන්න පුළුවන්. මේ සඳහා තම ඇඟිලි හෝ ලිංගික සෙල්ලම් බඩු (Sex Toys) භාවිත කළ හැකියි. ගැබ්ගෙල උත්තේජනය අනෙක් ක්‍රමයයි. ගැබ්ගෙල ආශ්රිත ප්‍රදේශය උත්තේජනය කිරීමෙන් මුළු සිරුරම එකවර සුරාන්තයට පත් කෙරෙන තරමේ ආශ්වාදයක් ලබා ගත හැකියි.
එසේම යෝනි මාර්ගය සහ භගමණිය යන දෙකම එකවර උත්තේජනය කිරීමෙන් සුරාන්තයට පත් විය හැකියි.
08 | ලිංගික සංසර්ගයේ යෙදීමට ආරක්ෂිතම කාල පරිච්ඡේදය
කාන්තාවන්ගේ ඔසප් වීම දින වෙනස් විය හැකි නිසා පොදුවේ ගත් කල ඔසප් වූ පළමු දිනයේ සිට නව වැනි දිනය සහ දාහත් වැනි දිනය අතර කාලය සරු කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. යමෙකුට දරුවෙක් අනවශ්‍ය නම් එම කාලය තුළ සංසර්ගයේ නොයෙදී සිටීම හෝ උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීමද, දරුවකු අවශ්‍ය නම් එම කාලය තුළ සංසර්ගයේ යෙදීමද අනුමත කළ හැකියි.
සාමාන්‍යයෙන් ඔසප් රුධිර වහනයේ පළමු දිනය ඔසප් චක්‍රයේ පළමු දිනය ලෙස සැලකිය හැකියි. ඊළඟ ඔසප් කාල පරිච්ඡේදය ආරම්භ වීමට පෙර දිනය ඔසප් චක්‍රයේ අවසාන දිනය වේ.
ලිංගික ක්‍රියා සිදු කරන වාර ගණන පෞද්ගලික සාධක මත රදා පවතී. ස්ත්‍රියක් ඇගේ සරු කාලය තුළ සිටින්නේ නම් පළමු ලිංගික එක්වීමෙන්ම ගැබ් ගැනීමට හැකියි. ලිංගික ශ්රාවයන්හි ශුක්‍රාණු අඩංගු බැවින් විනිවිද නොයන ලිංගික ක්‍රියාවකින් පවා ස්ත්‍රීයක ගැබ් ගත හැකියි.
09 | ලිංගික වගකීම්
ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයම ලිංගික ක්‍රියාවල යෙදෙන්න ප්‍රථම හොඳින් සිතාබලා, වගකීමෙන් යුක්තව ආරක්ෂිත ලිංගික පිළිවෙතක් තෝරා ගැනීම ප්‍රධානයි. සියලුම ආකාරයේ ලිංගික එකතුවීම්වලදී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිත කිරීම පහසුම ආරක්ෂිත පිළිවෙතක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම මෙය දෙදෙනාගේම වගකීමක් බවත් සැලකිය හැකියි.
බොහෝ විට සැලසුම් නොකළ ලිංගික සම්බන්ධතා ජීවිතයට තර්ජනයක් ඇති කරවන සුළු තත්ත්වයක් නිර්මාණය කර අවසන් විය හැකියි. තමන් අතර තබා ගැනීමට යන සම්බන්ධතාව කුමණාකාරයේ එකක්ද යන්නත්, එහි සීමා මොනවාද යන්නත් දෙදෙනා කතාබහ කර එකඟතාවකට පත්වීම සුදුසුය. මේ අවබෝධය බොහොමයක් ගැටලු මුල් අවධියේම ලිහා ගැනීමට උපකාරී වෙයි.
10 | ලිංගික දිශානතිය සහ ස්ත්‍රී/පුරුෂභාවය අනන්‍යතාව
එම ආකර්ශනය විරුද්ධ ලිංගික, සම ලිංගික, ද්වි ලිංගික හෝ LGBTQI අයකු කෙරෙහි ඇති විය හැකියි. LGBTQI යන්න අප සරලව සමරිසි ස්ත්‍රීන්, සමරිසි පුරුෂ, ද්වි ලිංගික කාන්තාවන්, ද්වි ලිංගික පුරුෂයන්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වගේම කුවියර (ස්ත්‍රී/පුරුෂ) සහ අන්තර් ලිංගික වශයෙන් බෙදා දක්වන්න පුළුවන්.
මේ ආකර්ශනය ශාරීරික ලක්ෂණ මත වගේම මානසික ලක්ෂණ මත ඇති වෙන්න පුළුවන්. ශාරීරික ලක්ෂණ ලෙස කඩවසම් බව, රූමත් බව දක්වන්න පුළුවන්. ඒ වගේම මානසික ලක්ෂණ වශයෙන් යහපත් ගතිගුණ, සෞන්දර්යාත්මක හැකියාවන් සහ දක්ෂතාවන් වැනි විවිධ හේතු දක්වන්න පුළුවන්. ඒ හා සම්බන්ධ වෙනත් ලිංගික මනෝභාවයන්ද තිබෙන්න පුළුවන්.
මෙය ජීව විද්‍යාත්මකව අතිශය සාමාන්‍ය, ස්වභාවික තත්ත්වයක් වන අතර, එය කිසිසේත්ම මානසික ආබාධයක් නොවන බවත් විශේෂයෙන්ම කිව යුතුයි.
11 | ලිංගික අයිතිවාසිකම්
2. ලිංගිකත්වය ගැන නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම.
3. ශාරීරික පූර්ණත්වය සඳහා තිබෙන ගරු කිරීම නිසි ලෙස භුක්ති විඳීම.
4. සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීම.
5. ලිංගිකව ක්‍රියාශීලී වීමට තීරණය කිරීම.
6. එකඟත්වය ඇති ලිංගික සම්බන්ධතාවලට පමණක් එළැඹීම.
7. තමන්ගේ එකඟත්වය මත විවාහයකට එළැඹීම.
8. දරුවන් ලැබීම හෝ නොලැබීම මෙන්ම අදාළ කාලය සහ දරුවන් ගණන පිළිබඳ තීරණ ගැනීම.
9. තෘප්තිමත්, ආරක්ෂිත සහ ප්‍රීතිමත් ලිංගික ජීවිතයක් ගත කිරීම.
10. ලිංගික ස්වාධීනත්වය, ලිංගික පූර්ණත්වය, අන් අයගේ ලිංගිකත්වයේ ආරක්ෂාව හා ලිංගික සහකරුවාට හෝ සහකාරියට ලිංගිකව බෝ වන ආසාදන වැළැදී තිබේද කියා පරික්ෂා කිරීම හෝ ඒ පිළිබඳ ඔවුන්ගෙන් විමසීම.
12 | පවුල් සැලසුම
පවුල් සැලසුමේදී ප්‍රධාන අරමුණ හතරක් තියෙනවා. පළමු වැන්න පළමු දරුවා වළක්වා ගැනීමයි. දෙවැන්න දරුවන් අතර පරතරයක් තබා ගැනීමයි. තෙවැන්න දරුවන් සීමා කර ගැනීමයි, හතර වැන්න දරුවන් නැති අවස්ථාවකදී ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමයි.
වැඩිවිය පත්වූ තරුණ කාන්තාවන් ලිංගිකව හැසිරුණහොත් ගැබ් ගත හැකියි. ආර්තවභාවයට ළඟා වී ඇති කාන්තාවන් ගැබ් ගැනීමේ අවස්ථාව අඩුයි. පවුල් සැලසුම් ක්‍රම භාවිත කළ යුතු කාන්තාවන්ගේ සාමාන්‍ය වයස් කාණ්ඩය අවුරුදු 15-49ත් අතර වනවා. එමෙන්ම පවුල් සැලසුම් කාන්තා, පුරුෂ දෙපාර්ශ්වය සඳහාම පවතිනවා. මේ පිළිබඳ උපදෙස් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් නොමිලේම ලබා ගැනීමට හැකියි. ඒ ආකාරයෙන් උපදෙස් ලබා ගැනීමට කිසිසේත්ම පසුබට නොවිය යුතු අතර, ඔවුන් එම සේවා සැපයීමට වෘත්තිමය ආකාරයෙන් බැඳී සිටිනවා.
2. අනපේක්ෂිත ගැබ් ගැනීම් මත සිදුකරන අනාරක්ෂිත ගබ්සාවීම් අඩු කිරීම.
3. ළඳරු මරණ අනුපාතය අඩු කිරීම.
4. HIV සහ ඒඩ්ස් ආසාදනය වළක්වා ගැනීමට උපකාර වීම.
5. මනුෂ්‍යයන් සවිබල ගැන්වීම සහ අධ්‍යාපනය දියුණු කිරීම.
6. කාන්තා නියෝජිතායතනය, ස්වාධීනත්වය සහ බලගැන්වීම.
7. පවුලේ හා රටේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම.
8. නව යොවුන් ගැබ් ගැනීම අවම කිරීම.
9. දරුවන් නැති අවස්ථාවකදී ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම.
1. ගිලින පෙති
2. කොන්ඩම්
3. කාන්තා කොන්ඩම්
4. ඩෙප්රොවේරා එන්නත
5. උපත් පාලන හෝමෝන තැන්පතු (උදා: Jadelle/Implanon)
6. ලූප් ( අන්තර් ගර්භාෂිත ලූපය - Intrauterine device/IUD
7. හදිසි අවදානම් අවස්ථාවල ගන්නා උපත් පාලන පෙති
8. ස්ත්‍රී වන්ධ්‍යකරණය
9. පුරුෂ වන්ධ්‍යකරණය
ගිලින පෙතිවල ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගුයි. වෛද්‍ය උපදෙස් අනුව මෙම පෙති මුඛ මාර්ගයෙන් ලබා ගත යුතුයි. අවශ්‍ය උපදෙස් පෙති අසුරනයේත් තිබෙනවා. ගිලින පෙති සාමාන්‍ය ආකාරයෙන් ෆාමසියකින් මිලදී ගත හැකියි. ගිලින පෙති නිවැරැදි ආකාරයෙන් භාවිත කරන්නේ නම් 99.7% අවස්ථාවලදී එය ප්‍රතිඵලදායකයි.
කොන්ඩම් භාවිතයේ සාර්ථකත්වය 97%ක් පමණ වේ. ගැබ් ගැනීම්වලින් මෙන්ම එස්.ටී.අයි/එච්.අයි.වීවලින් ආරක්ෂා වනු පිණිසද කොන්ඩම් උපකාරී වෙයි. සෑම ලිංගික හැසිරීමක් සඳහාම අලුත් කොන්ඩමයක් පැලඳිය යුතුයි.
කාන්තා කොන්ඩම්වල එක් කෙළවරක නැවෙන සුළු මුදු සහිත තුනී පොලියුරතේන් කෝෂයක් තිබෙනවා. එය ලිංගික සංසර්ගයට පෙර යෝනි මාර්ගය තුළට ඇතුළු කළ යුතුයි. එමඟින් ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට ශුක්‍ර ඇතුළු වීම වළක්වනවා. ලිංගික සංසර්ගය ආරම්භ කිරීමට පළමුව එය යෝනි මාර්ගය තුළට ඇතුළු කර සංසර්ගය අවසන් වූ වහාම ඉවතට ගත යුතුයි. වරක් භාවිතයෙන් පසුව ඉවත දැමිය යුතුයි.
එන්නත් සඳහා අන්තර්ගත වන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අධි මාත්‍රාවක්. එය ඩෙප්රොවේරා/ඩී.පී එන්නත ලෙස හඳුන්වනවා. මේ එන්නතේ ක්‍රියාකාරීත්වය මාස තුනක් වන අතර, එය ලබාගත හැක්කේද කාන්තාවන්ට පමණයි. මෙය ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයෙන් නොමිලේ ලබාගත හැකියි.
ලූපය යනු කාන්තාවකගේ ගර්භාෂය තුළට ඇතුළු කරන T හැඩය ගත් කුඩා උපාංගයකි. එය තැන්පත් කළ යුත්තේ නිසි පුහුණුව ලැබූ වෘත්තිකයකු විසින් පමණයි. මෙම උපාංගයේ තඹ අන්තර්ගතයි. එමඟින් ශුක්‍රාණු විනාශ වෙයි; ශුක්‍රාණු ඩිම්බය හා සංසේචනය කිරීම වළක්වයි. ලූපය වසර 12ක් තරම් දිගු කාලයක් භාවිත කළ හැකියි.
හදිසි අවස්ථාවල ගන්නා උපත් පාලන පෙතිවල ප්රොජෙස්ටීන් හෙවත් ලෙවොනෝර්ගෙස්ට්රල් නම් හෝමෝනය අන්තර්ගතයි. ලිංගික එක්වීමක් සිදුවී පැය 72ක් (පැය 24ක් ඇතුළත ලබා ගන්නේ නම් වඩාත් සුදුසුයි) කාලයක් ඇතුළත මෙම පැති භාවිත කිරීමෙන් හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගත හැකියි.
ස්ත්‍රී වන්ධ්‍යකරණය ලෙස හැඳින්වෙන්නේ පැලෝපීය නාල ගැට ගැසීමේ ක්‍රමයයි. ඩිම්බයක්, ගර්භාෂය කරා ගමන් කරන පැලෝපීය නාල කපා ගැට ගැසීමෙන් මෙම ශල්‍යකර්මය සිදු කරයි. පුරුෂ වන්ධ්‍යකරණය හෙවත් වාසෙක්ටමි යනු පිරිමින් සඳහා වන ස්ථීර පවුල් සැලසුම් ක්රමයකි. මෙහිදී ශුක්‍ර තරලය කරා ශුක්‍රාණු ළඟා වීම අවහිර කිරීම සඳහා සුළු ශල්‍යකර්මයක් සිදු කෙරෙයි. ශරීරය දිගටම ශුක්‍ර තරල සහ ශුක්‍රාණු නිදහස් කරන මුත් නිපදවෙන ශුක්‍රාණු නැවතත් ශරීරයට අවශෝෂණය කර ගනී.
ශ්‍රී ලංකාව තුළ ගබ්සා කිරීම සඳහා සීමා පනවා ඇති අතර, ගබ්සාවක් සිදු කළ හැක්කේ මවගේ ජීවිතයට බරපතළ තර්ජනයක් වන අවස්ථාවකදී පමණයි.
ගබ්සා සම්බන්ධයෙන් සමාජයේ පවතින සමාජීය සහ සංස්කෘතික බාධක හේතුවෙන් ඇතැමුන් සුදුසුකම් නොලත්, වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් වෙතින් උපදෙස් සහ දරු ගැබ ඉවත් කරවා ගැනීමට සහය පතන අවස්ථා දැකිය හැකියි. මෙවැනි අවස්ථා බොහොමයකදී ප්‍රතිඵලය අතිශය කනගාටුදායක විය හැකියි. එහෙයින් නිතරම සුදුසුකම්ලත්, වෘත්තීය මට්ටමේ වෛද්‍යවරයකු හෝ අදාළ වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්.
යම් හෙයකින් පශ්චාත් ගබ්සා තත්ත්වයක් ඇති වුවහොත් ආසන්නයේම ඇති රෝහල වෙත යා යුතුයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා සපයන්නන් සහ රෝහල් විසින් පශ්චාත් ගබ්සා සේවා සපයන අතර, එය නීත්‍යනුකූල වේ. ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන රෝහල්හි තරුණ ප්‍රජාවට වෙනු වුණ 'යොවුන් පියස' නමින් සායනයයක්ද ඇත. එහිදී ඔබේ ගැටලුවට සංවේදී කාර්ය මණ්ඩලයක සේවය ලබා ගැනීමේ අවකාශයක් ඇත.
ගබ්සා කිරීමට නොයෙකුත් ක්‍රම භාවිත වෙයි. චූෂණ ඉවත් කිරීම, ඖෂධ භාවිතයෙන් කෙරෙන වෛද්‍යමය ගබ්සාව මෙන්ම විවිධ ශාක නිෂ්පාදන භාවිතය ප්‍රධානයි. ඒවා සාම්ප්‍රදායික ක්‍රම ලෙස සැලකෙයි. ගර්භාෂය ඇතුළතට උපකරණ ඇතුළු කරමින් ද ගබ්සා සිදු කරයි.
මෙරට තුල ගබ්සාවන් සිදු කිරීමට යම් නෛතික සීමාවන් තිබේ. නීති විරෝධී ලෙස ගබ්සා කිරීම් සිදුවුවත්, ඒවා නියමිත වෛද්‍ය ප්රමිතීන් යටතේ සිදු නොවීමෙන්, එවන් නීති විරෝධී ගබ්සාවන් වෙත යොමුවීම ඉතා අනාරක්ෂිත වේ.
සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිත කිරීමෙන් මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. උපත් පාලන ක්‍රමය අසාර්ථක වුණ මොහොතක හදිසි උපත් පාලන පෙති භාවිත කිරීමෙනුත් ප්‍රේරිත ගබ්සාව වළක්වා ගන්න පුළුවන්.